| |

තවම පරණයි කොළඹ – ජීවන්ති රත්නසේකර

පොතේ නම:- තවම පරණයි කොළඹ
ප්‍රවර්ගය:- කාව්‍ය
කර්තෘ:- ජීවන්ති රත්නසේකර
ප්‍රකාශනය:- සන්ථව
විචාරය/විස්තරය:-
තවම පරණයි කොළඹ – කොළඹ පරණයි තවම
ජීවන්ති රත්නසේකර කිවිඳියගේ ‘තවම පරණයි කොළඹ’ කාව්‍ය සංග්‍රහය මා අතට පත්වනුයේ අහම්බෙනි. සන්ථව ප්‍රකාශනයක් ලෙස නිකුත් වන මේ කාව්‍ය එකතුව එක හුස්මට කියවිය හැකි වුවත් ඒ තුළ ගැබ්ව ඇති ජීවන යථාර්ථය නම් ගැඹුරු ය. සඳැස්, නිසඳැස්,සංක්ෂිප්ත යන ආර කීපයකින් සමන්විත වූ කාව්‍ය එකතුවක් ලෙස අප අතට පත් වන මෙම ග්‍රන්ථය තුළ අඩංගු කාව්‍ය වියමන් කෙමෙන් ලිහා ගැනීම පාඨක අපට භාරය. මෙතුළ අතරින් පතර සංක්ෂිප්ත කාව්‍ය කිහිපයක් අඩංගුකර තිබීම ම මා සිත්ගත් අපූරු කරතව්‍යයකි. කෙසේ වෙතත් සමස්ත කාව්‍යාවලියම විවිධාංගීකරණයට ලක්ව තිබීම පාඨකයාව ඒකාකාරී බවෙන් මුදවා ගැනීමට සමත් වන බව නම් පැවසිය යුතුම ය.
‘තවම පරණයි කොළඹ’ යන මැයෙන් එන මේ කව බලන්න,
ඔය පේන
උස බිල්ඩින්වලට
යටින් තවමත්
පරණයි කොළඹ
මේ කව අපූර්ව සංකල්පනාවක් වන අතරම එහි ගැබ්ව ඇති සංක්ෂිප්ත බවම විවිධ මාන කෙරෙහි පාඨකයාව රැගෙන යයි. කෙසේ වෙතත් පරණ කොළඹ ඡායාරූපමය කෝණ වලින් දැක ඇති අප, දැන් අප දකින කොළඹ හා චිත්තරූපමය හුවමාරුවක යෙදෙන්නෙ කවෙහි ඇති සංක්ෂිප්ත බව නිසාමය. ඊට සහයක් ලෙස නදුන් යසිත දසනායක කවියා විසින් කරන ලද අපූර්ව පිට වැස්ම පාඨකයාට උපකාරී වනු ඇත. එමෙන්ම කිව යුතු තවත් කරුණක් ඇත එනම් මීට මැයක් යොදා නොතිබුණි නම් අගනේ ය යන්නයි. මන්ද යත් මැයක් කෙටි කවකට යෙදීමෙන් පාඨක සිතුවිලි ධාරා වලට යා හැකි දුර ප්‍රමාණය අවම වන නිසාවෙනි.
‘මේ සුවඳ කූරු රැගෙන යන්න’ යන මැයෙන් එන කවිය දෙස බලන්න. ඒ තුළ අපූර්ව කෙටි කවක් ඇත.
කිරා වැටෙමින්, තිගැස්සෙයි
යළිත් මුව හොවා ගනියි
වියළි තන පුඩුවක
ඒ සෝපාක,
සමස්ත කවියම නොවී මෙම කොටසට කවිය සීමා වී තිබුණේ නම් වෙනස් අර්ථයක් කවියට ලැබෙනු ඇත. එසේ වී නම් පාඨක මනසේ ඇඳෙන චිත්තරූපයට වඩා වෙනස්ම මානවල චිත්තරූපාවලියක් පාඨක මනසේ මැවෙනු ඇත. කෙසේ නමුත් සමස්ත කව දෙස බැලූ කල්හි එහි ගැබ්ව ඇති අපූර්වත්වය පාඨකයා වටහාගත යුතුය.
‘මටත් ඉන්නවා දැන් දුවක්’ යන මැයෙන් එන මෙ’කව දෙස බලන්න.
අහම්බෙන් දවසක
දකින්නෙමි
ඔබේ ගෙමිදුලෙහි
සෙල්ලම් කරන
පුංචි කොලු පැටියෙක්…
ඔයා වගෙ නම් නෙමෙයි
එයා වගෙ වෙන්න ඇති නේ ද
මතකයි ද ඒ දවස්
නොදැනීම ගෙවුණ හවස්
මාලතී!
මට ඕන වුණේ ඔයා වගේ දුවක්
ඔයාට ඕනි වුණේ මං වගෙ ම පුතෙක්
*          *          *
ඔයා වගෙ නොවුණත්
මටත් ඉන්නව
දැන් දුවක්
මාලතී ට පුරුෂ වේශයකින් අමතනුයේ කිවිඳියකි. එය අපූර්ව වන්නේ ආගන්තුකමය විලාශයකින් එ’කව ඉදිරිපත් නොකරන නිසාවෙනි. එමෙන්ම කාව්‍යයෙහි කූටාප්‍රාප්තිය සනිටුහන් වන්නේ කාව්‍යාවසානයේදී ය.
ඔයා වගෙ නොවුණත්
මටත් ඉන්නව
දැන් දුවක්
නමුත් ඔහු විවාහක අයෙකු වුවත් ඔහුගේ ප්‍රථම ප්‍රේමය විය හැකි මාලතී ව අමතක කර සිටින්නට උත්සාහ කරන කථකයාට අහම්බෙන් හෝ මේ දකින දසුන අතීතාවර්ජනයකට මඟ සලසයි. නමුත් එ’තුළ පශ්චාත්තාප වීමක් නොපෙනෙන අතර
අහම්බෙන් දවසක
දකින්නෙමි
ඔබේ ගෙමිදුලෙහි
සෙල්ලම් කරන
පුංචි කොලු පැටියෙක්…
ඔයා වගෙ නම් නෙමෙයි
එයා වගෙ වෙන්න ඇති නේ ද
කථකයා මාලතී ව රිදවමින් පැනයක් අසයි. එමෙන්ම ඔහුගේ ආශාව වූ දුවණියකගේ සිහිනය සැබෑ වූ බව කාව්‍යයේ කූටාප්‍රාප්තිය තුළ අඟවන්නේ මාලතී ට රිදවන්න විය යුතුය. ඉන් කෙසේ නමුත් පුරුෂ වේශයෙන් සිටිනා කිවිඳිය ඇතැම් විට දන්නවා ඇති ඒ රිදවුම් වලින් මාලතී ට නොරිදෙන්න වුවත් හැකියාවක් ඇති බව මන්ද යත් ඇයත් කාන්තාවක් වන නිසා ය.
ජීවන්ති රත්නසේකර කිවිඳියගෙ කුළුඳුල් කාව්‍යාගමනය ආගන්තුක බවක් පාඨකයාට නොපෙන්වන අතරම නිරන්තර අභ්‍යාසකරණයේ යෙදීමත්, තවත් කෙටි කාලීන නිහැඬියාවකින් අනතුරුව ඊළඟ කාව්‍ය මොහොතට එළඹීමත් පාඨක අවධානය ඈ කෙරේ නතුකර ගැනීමට හේතු වනු ඇත.
දිනීප මධුෂාන් නානායක්කාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *