සඳ බිඳුණු ගොවිඳුහෙල – චමිලා මැණික්ගමගේ
චමිලා මැණික්ගමගේ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය වන ‘සඳ බිඳුණු ගොවිඳුහෙල’ සහෘද පාඨක අප අතට පත් වන්නේ සක්නද ප්‍රකාශනයක් ලෙසට ය. මෙම කාව්‍ය සංග්‍රහය වූ කලී අපූර්ව කාව්‍ය සංකල්පනා බොහොමයකින් අනූන වන අතර ඒ කාව්‍ය සංකල්පනා එකින් එක විඳගැනුම පාඨක අප සතු ය. නිස`දැස් හා සංක්‍ෂිප්ත යන ප්‍රවර්ගයන් වල කාව්‍යයන් වලින් සුසැදි කිවිඳියගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ජනගත වන්නේම රට තුල ඇති ආර්ථික අර්බූදය මුද්‍රණ කර්මාන්තයට ද බලපා ඇති අවධියක වුවත් එය මිලට ගෙන කියවන්නෙකුට කිසිදු අවැඩක් වන්නේ නැති බව නම් පැවසිය යුතුම ය.
කවියකට, කෙටිකතාවකට හෝ නවකතාවකට අනුභූතිය සැපයෙන්නේ, තමා තල අත්දැකීම්, කාගෙන් හෝ අසා දැනගත් අත්දැකීමක් හෝ ජනමාධ්‍ය ඔස්සේ ලබා ගන්නා අත්දැකීම් යන ත්‍රිවිධ කාරණා මගිනි. කිවිඳිය මෙහි අඩංගු සියළු කාව්‍ය සංකල්පනා වලට අනුභූතිය සපයා ගන්නේ ඉහත ත්‍රිවිධ ආකාරයට විය හැකිය. අසමත් ගුරුවරිය, ආදරණීය මිනිසෙකුට වැනි පද්‍යයන් දෙස බැලූ කල කිවිඳිය සිය වෘත්තීය ජීවිතයේ දී ලබාගත් අත්දැකීම් විය යුතුය. කෙසේ නමුත් ඒ පද්‍ය පංතීන් අපූරුය නැවුම් ය.
කෘතිය තුල ‘මවු මිය ගියේ පුතකුගේ මළකඳ මත ලූ’ මැයෙන් එන මෙ’කව දෙස බලන්න.
පහනක් හෙමින් දැල්වෙන නිවසක් වේවා
ඉහ තෙල් ලමින් සුසුමන් ගිලිහෙන බෝමා
මුමුණා වරු ලණන් බුදු පාමුල සේමා
අහිමි ව පුතුන් හඬනා මව්වරු බෝමා
කිවිඳිය මේ පවසන්නේ 71, 88/89 කැරලි කෝලහාල වල දී සහ මෙරට තුල පැවති සිවිල් යුධ තත්ව වල දී මරා දමන ලද, මියගිය තරුණ පරපුරෙහි මව්වරුන්ගේ අඳෝනාව වි යුතු ය. අදටත් ඒ බොහෝ මව්වරු තම පුතු නිවසට පැමිණෙන තුරු බලා සිටිනවා ය. කඳුළු සලනවා ය. ආගමානුකූල කටයුතු කරනවා ය. නමුත් ඔවුන් ජීවමානව නොපැමිණෙන බව සදාතනික ධර්මය ය. එහෙත් අදටත් ඒ බොහෝ තරුණයන් සිටින්නේ අතුරුදන් වූවන් ගේ ලැයිස්තුවේ බව නොරහසකි. රටට මේ මොහොතේ අවශ්‍යම වැඩිහිටි පිරිස්, තරුණ පිරිස් ඒ කාල වකවානුව තුල තිබූ විවිධ දේශපාලනික තත්ව යටතේ අපට අහිමි වී ඇත. ඒ ආදීනව දැන් අප විඳිමින් පවතින්නේ ය. නමුත් ඒ සත්‍යය කාලයේ වැලිතලා යට සැඟව ඇත.
හිත ළඟ කොනිත්තා රිදවුම් දෙනවා ද
මතකය ඇවිත් පැන පැන වද දෙනවා ද
සිහි වී කිරි සුවඳ ඔහෙ සැනසෙනවා ද
සිහිනය යළිත් වකුටු ව නිදියනවා ද
ඒ මව්වරුන් තම පුතුන්ගේ කිරි සුවඳ සිහිකරමින් ඔවුන් තම දෑත් වලින් තැනූ, දෑත් මත කෙමෙන් කෙමෙන් වැඩුණු ආකාරය පිළිබඳ රිදවුම් දෙන මතකයන් සමග වෙලෙමින් සිටින අතර ඔවුන් නැවත නොපැමිණෙන බැව් හැඟෙන විට තම හිත තුල ශූන්‍ය වූ හැඟීමක් ජනිත වනවා විය හැකි ය. ඒ මව්වරුන් සත්‍යය දනිතත් නොදන්නවා සේ සිටින්නේ දාරක සෙනෙහස නිසාම ය.
දස මස කුස දරා පැතුවට කිරුළු හතක්
ආඩම්බරයි කීවෙ ම අම්ාමකුට පුතෙක්
ගේ මැද දැනෙන පාළුව දැනුණේ ද කොතෙක්
හදවත ඉතින් දැන් නිතරම අඬන සතෙක්
පුතෙක් යනු මවකට වටිනා අනර්ඝ සම්පතකි. ඔවුන් පුතෙක් තනන්නේම මහත් වූ ආඩම්බරයෙනි. ඒ පුතු යම් දවසක කිරුළු දරනවා දැකීම ම මවකගේ පැතුම ය. එසේ සුබ සිහින දකින මවකට තම පුතු අහිමි වීම දරාගත නොහැකි ය. පුතු නොමැති පාළුව දිවි ඇති තෙක්ම පවතිනවා ඇත. ඉතින් ඒ මව්වරුන් අදටත් කඳුළු සලමින් තම පුතු නිවසට පැමිණෙන තුරු බලා සිටීම අරුමයක් නොවන්නේම ය.
‘අම්මා නැති දා’ මැයෙන් එන මෙ’කව දෙස බලන්න.
ඉඳහිට ගම දකින සඳ
තුහින වෑහෙන සේම හිත
කඩුල්ල පනින විට අද
ඇඟේ දැවටෙන ලකිය නම් නැත
කථා නායිකාව වසර ගණනාවකට පසු සිය කුඩා කල විසූ නිවසට පැමිණ ඇති බව පවසන අතර එකල තමා හුරතලයට හැදූ ලකියා නැමැති සුනඛයා දැන් නැති බව පැවසීමෙන් ඒ බව හැඟවේ. අතීතයේ තමා විසූ නිවස හා පරිසරය පිළිබඳ අතීතකාමි සෙවණැල්ලක දැවටෙන කථා නායිකාව නිවස අවට පරිසරය ගැන වර්ණනාවක යෙදෙන්නේ මේ ලෙසට ය.
කැකුණ ගහ ගැබ්බරව
අතු පාත් වී පිළට ම
හිනා වීගෙන, බිම බලාගෙන
ඩේලියා මල දෙකකි පීදුණ
සිය පියා තවම ජීවනෝපාය ලෙස කිතුල මදින බව පවසන කථා නායිකාව, පියාගේ ආදරණීය ඇමතුම අසල මදකට නතර වෙයි.
“මයෙ පුතා ආව ද? මහන්සි ද?”
සිය මව වියෝ වී ඇති බව පවසන කථා නායිකාව සිය දෙමාපියන් ගත කළ ජීවිතයේ බරසාර බව පවසන්නේ මවගේ පිංතූරය ඇසුරිණි.
මකුළු දැලක පැටලුණ
පෙති හැලී මැලවුණ වතුසුදු මාලය
අම්මාගේ ඇස්වල ගිලුණ
කහපාට වාගෙ ම දුක්බර
පෙර පුරුදු ආහාරයක සුව`දැනෙන විට රජ බොජුන් වල පහස ලැබුව ද කටට කෙල උනන්නේ නිරායාසයෙනි. එමෙන් ම කථා නායිකාව ගම අතැර නගරයට යෑම පිළිබඳ තැවෙන අතර ඒ පාලු නිවස තුල තනිව වෙසෙන පියා පිළිබඳ පවසර්නේ සිය මවගේ වියෝවත් සමග පියාට අත්ව ඇති ඉරණම පිළිබඳ සංකල්පීය චිත්‍රයක් අප තුල මවමිනි.
කෘතිය තුල ඇති අවසාන කව වන ‘රහස’ මැයෙන් එන කව දෙස බලන්න.
ඔබේ එක
වදනකින්
ඇද වැටෙමි
නෙතේ එක
බැල්මකින්
යළි පිපෙමි
සැමියා, බිරිඳ අතර හෝ පෙම්වතුන් අතර යම් යම් බහින් බස් වීම් ඇති වුවත් එක් ආදරණීය බැල්මකින් ඒ සියළු ආරෝවන් කඩා සුණු විසුණු කර දැමිය හැකිය. එය සදාතනික සත්‍යයකි. මෙවැනි තත්ව නොතිබුණහොත් ඒකාකාරි දිවි පැවැත්මක් තුල ඒ ඒ සම්බන්ධතා බිඳවැටිය හැකිය. බැලූ බැල්මට මෙම කව සංක්‍ෂිප්ත කවියක යැයි කිව හැකිය. මේ කව තුල අසීමාන්තික ලෙස සැරිසැරීමට පාඨකයාට හැකිය. සංක්‍ෂිප්ත කවියක විශේෂත්වය වන්නේ ද එය ය.
කිවිඳියගේ සමස්ථ කාව්‍යාවලිය දෙස බැලූ කල්හි දීර්ඝ ගමනක් යා හැකි සුබ ලකුණු පෙනෙන බැව් නොරහසකි. අවශ්‍යම සහ නිවැරදිම මොහොතක කිවිඳිය සහෘද පාඨකයින් සමග සම්මුඛ වීම ද අගය කළ යුතු ය. කෘතියේ අඩංගු සියළු කවි දෙස බැලූ කල්හි කිවිඳිය මනා අවබොධයකින් මේ කව් මග සරන බැව් පැහැදිලි ය.