| |

සහස් කඳු තරණ මං පෙත් – කෞශල්‍යා ජයලත්

පොතේ නම: සහස් කඳු තරණ මංපෙත්
ප්‍රවර්ගය : කාව්‍ය
කතෘ: කෞශල්‍යා ජයලත්
ප්‍රකාශනය : ගොඩගේ ප්‍රකාශන
පළමු මුද්‍රණය: 2022
විචාරය: චූලානන්ද සමරනායක
සහස් කඳු තරණ මං පෙත් –
කෞශල්‍යා ජයලත්
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ළදැරියකි හස නගා සරන. ඇය ජීවිතයෙහි තුටු උල්පත් අතර සරන්නී ය. එහෙත් ඒ කඳු හිසක ය. මේ ඇගේ සැරියෙහි විස්තරයයි.
ගගන ගෑවෙන කඳුහිස
සරමි රිසි සේ මැද තොස
නාඳුනන විහඟුන් පසුපස
දුවමි  මත් වෙමි මියුරු ගී අස
ජීවිතයේ මියුරු නද විඳිමින් මත් වෙමින්, කුසුම් නෙලා මුහුලස ගවසමින් යන්නට ඇත්නම් ඒ කවර ආහ්ලාදජනක සැරුමක් ද? කෞශල්‍යා කිවිඳිය සිය කවි සිත මුදා හැර තුටු වෙයි. එහෙත් ඒ ගමන නිදැල්ලේ යාමක් සේ පෙනුන ද මුළුමනින් ම අනතුරුවලින් මිදුනේ ද නොවෙයි. ඇගේ බිය එහෙයිනි.
සිතු තැනිතලාවෙක ළදැරිය
ඇවිදින්නීය කඳු ශිඛරය
අසීරු සැරිසැරුම ලිස්සා
ප්‍රපාතෙට වැටේදැයි හද බිය
ඉදින් ඇගේ සැරිය අතරෙහි ඇය ජීවිතයේ සුඛ දුක්ඛ පක්ෂයන් මෙන්ම සමාජ දේහයෙහි ආලෝකමත් මෙන්ම අන්ධකාරයෙන් යුත් කලාපයන් ද විනිවිදින්නී ය. විවිධ ජීවිත තුළට එබී බලා එහි අහුමුළු විවර කරන්නී ය. ඒ විවර කිරීම් හරහා අපට හමුවනුයේ අප සමාජයෙහි කඩතොළුව ගිය මං පෙත් ය.
මේ ඇයට ඒ අතර මග හමුවන පතිනියකගේ දවසයි. එහි ඇති යෙදුම් කුටුම්භයෙහි බර අදින කතගේ භූමිකාවෙහි විවිධ පැති විදහයි. ඇය උදෑසන ඇඳෙන් බසින්නී සිය නින්ද බිඳගෙන ‘ඉරට‘ තවත් නිදියන්න ඉඩදී ඇතිරිල්ල ද පොරවමිනි.
ඉරට තව පැය දෙකක් සනීපෙට නිදියන්න පේවී
ඇතිරිල්ල පොරවලා සෙමෙන් යහනෙන් බසින සාවී
පෙර රැයෙහි තීරු කැපු නොයෙක එළවළු කැබලි යාවී
ඇතිලිවල නටන හොදි නිවා බත්මුල් බඳින දේවී
ඇය සයනයෙන් බසින්නී සෙමෙනි. ඒ ඉරට තවත් මද වෙලාවක් සුව නින්ද සදන්නට ය. ඉන්පසු ඇරඹෙනුයේ දෛනික යුද්ධයයි. ඇය සිය කවියෙහි භාවිතා කරනා යෙදුම් හරහා ගෘහණියකගේ පොදු අත්දැකීම නාටකීය බවකින් විදහයි.දරුවන් සැමියා සමග දවස ඇරඹීම, මග තොට ඇති අනතුරු,  යළි නිවෙසෙහි දරුවන් සමග සටන මෙන්ම නිවසෙහි කුදු මහත් කටයුතු ඈ ඉදිරිපිට ය. මේ කිසිවක් වටිනාකමක් ලබනා කාර්යයන් නොවේ. එහෙත් ඇය දිනපතා එහි නියැලිය යුතු ය.
ඒ අතර ඇයට හමුවන තම වර්ගයාගේ ඛේදය ඇගේ ඇස් පාරයි. ඉදින් ඇය සොවින් නැගෙන්නී ය. සමාජයට අභියෝග කරමින් ම. ශුද්ධවන්ත ලෝකයක පාපී කතුන් සුධවල මිනිසුන්ට අසුබ ලකුණු ය. ඇය ඔවුන් වෙනුවෙන් නැගෙන්නී ය.
දෙව් මැදුරු දොර අබියස
ඉටි පහන් විකුණන ලඳ
උර මත නිදන දෙනයන
ඇගෙද නැතිනම් කාගෙද?
දෙවියන් බැහැ දකින්නට යන අයට ඉටිපහන් ඇවැසි ය. එහෙත් ඒ ඉටි පහනෙහි ආලෝකය දල්වන්නා වෙතම ගලා යන්නේ ද නැත. එහෙයින් ඔහු ආලෝකය සොයනු වෙනුවට ඉටිපහන් විකුණන කතගේ තෝම්බුව හාරා අවුස්සයි. දිගටම ඇයට හමුවන්නේ එවන් කතුන් ය. ඉඳින් එවන් කතුනට කළ යුත්තේ කුමක්ද? ඇය සාධු සමාජයට අභියෝග කරයි. ඒ පාපී කතුන්ට ගල් ගසන්නට ය. එහෙත් ඒ ගල යනු පෙරලා තමන් වෙතම එන්නකි.
සුදු ඇඳි සාධු ජන මැද
ළඳකට මෙලෙස විය හැකි වෙද?
සෙරක් විය යුතුම ය මේ ළඳ
ගල් ගසන්නට වරෙව් රොද බැඳ
දැන් ඇය ඉදිරිපිට සිටින්නී සිය රටෙන් නොරටට පුදන ලද දැරියකි. ඇය අපට පානුයේ දයාසේන ගුණසිංහයන් ලියූ එතෙර ගිය පොඩි දුවට කවියෙහි නූතන පරිච්ඡේදයයි. ඇය අමතන්නී තම පියාට ය. එය හද රිදවන චෝදනාවකි.
තාත්තේ
කතාවේ කළු අප්පු වාගේ
නොඑව්වත් අස්පයා කම් නැතී
තනාදී ලෑලි අස්පයෙක්වත්
සරම් ඔංචිල්ලාවේ
නැළෙව්වේ නැති වුවත් දුක නැතී
සූදුවේ ඔබ තේරු අස්පයා පදින්නී
ඔබ නොතේරූ ඔබේ ලොකු එකී
මෙහි එන “ඔබ නොතේරූ”  යන යෙදුම නොරටට දුන් දැරියගේ පියා තුළ දියණිය කෙරේ පැවති සෙනෙහසෙහි දිග පළල කියයි.
ඉදින් ඒ අතර ඇයට හමුවනුයේ ලියන්ගේ අකල්හී නැසී යන කවි කලලයන් ය. කිවිඳියක බිහිවීම මේ පුරුෂ ලෝකය තුළ ඇගේ බර බද්දල් මැද කෙතරම් අසීරුදැයි ඇය විමසා බලයි. කිවිඳියක බිහිවීම යනු අසිරියකැයි ඇය ව්‍යංගයෙන් පවසයි.
අමු මිරිස් ළූණු ලියනාතර
අබ මාළු දැලි පෙරී අත්වල
තැලී ඇඹරී ගැබ් නැසි
ලිය කවි කලල අපමණ
සැමියන් සැක සැතින් සිදුරුව
රුහිරු වගුරා දිවි හල
කවි ඉලන්දාරී කැල
සරති හද තුළ අඳුරු ගුල්වල
ඉදින් විලි ලා බිහිකෙරන කතුන්ගේ කවියෙහි ඉරණම කුමක්ද?
ජනිත වීම ම කව් බිළින්දෙකු
ඉතිරි හද විළිරුදා විඳ විඳ
අරුම කවියකි වියතුනි
සිඳිනු ගෙල කිම සැතකිනි?
මේ සමාජය ගැන ලියවෙන සාහිත්‍ය අතර නම් අප වනාහී, සිනාමුසු මුහුණින් පසුවන, හද වෙඬරු මෙන් හුණුවන, දෑසට කඳුළු හිඟ නැති, අනෙකා වෙත නැමී ගත් මිනිස් යායකි. පින්කෙත හෙල රන් දෙරණකි. මිණි යායකි. වෙණ නාදෙකි. එහෙත් ඇයට හමුවනුයේ කිසිදු හැඟුමක් නැති රූ පෙලකි. දුම්රියකට පැන දිවි නසා ගත් කතක දකිනා මිනිස් රූ තෙපලනා බස් හරහා ඇය අපේ අසංවේදී මෙන්ම මුග්ධ ස්වභාවය එළියට ඇද දක්වයි. සෑම මොහොතක් ම සේයාරුවක දවටා මුහුණු පොතේ බෙදා ගන්නා සමාජයක් මරණයට පත් කතක දකින ආකාරය;
යකෝ මේකි
මැරෙන්න යන්නෙත්
මේකප් දාලනෙ
ඇසුණි රසික හඬක්
දුම්රිය හූ කීවේ කාටද?
“රසික හඬක්!” ඒ නම් කදිම යෙදුමකි.
මේ ඇය පිහි ගැන කරනා අර්ථ විවරණයයි.
රුහිරු ඉහිරුම පමණද?
පිහියකට උරුම මිතුරේ
ආදරේ තැවරී නැතිවද?
පිහි දාර අතර පතරේ
දෝණියැන්දෑ ආස හින්දම
පියඹා අඹ තුරේ
අඹ නෙලා අච්චාරු සෑදු
අප්පච්චිගේ අත් අතරේ
ආදරේ තැවරුණු පිහියකි
අද ද නෙත තුටු කඳුළු පැතිරේ
ඇය තම කවියට නිමිති සොයා ගැනීමේදී වෙනස් කියවීම් කරා එළඹෙන්නී ය. පිහි හරහා ඇය දකින ආදරය ඇය අවසන් කරනුයේ මෙලෙසිනි.
පිරිමැද කතන්දර
ආදරේ පිරි පිහි අතරේ
හද සිදුරු කළ පිහි ගැන
අමතක කරමි නිතරේ
ඉදින් ඇගේ කවිය සමග ඇවිද යා හැකි දුර බොහෝ ය. එහෙත් ඒ දිගු ගමන ඔබට පවරා මෙතනින් නතර විය යුතු යයි සිත කියයි. ඒ ඇය සමග එකඟ වෙමිනි.
තරණය නොකර තනිවම
කපමු කඳු
බිමට ම සමතලා වන්නට
එවිට හැක අප සැමට ම
සමබිමක ඇවිද යන්නට
© චූලානන්ද සමරනායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *