| |

ඉවුරු, ගඟ සිදී ගිය දා – කැත්ලීන් ජයවර්දන

පොතේ නම: ඉවුරු, ගඟ සිදී ගිය දා
ප්‍රවර්ගය: නවකතා
කතෘ : කැත්ලීන් ජයවර්ධන
ප්‍රකාශනය: විදර්ශන ප්‍රකාශන
විස්තරය හෝ විචාරය :
කැත්ලින් ජයවර්ධනගේ ඉවුරු ගඟ සිදී ගිය දා කියවූවෙමි. අතිශය වෙහෙසක් දරා, විශාල සංයමයකින් ලියන ලද අනර්ඝ ලියවිල්ලකි. ඉතා වෙහෙසී කරනා ලද ගෙත්තමකි.
ලාංකීය සමාජයේ මූලික විශ්වාසයන් සියල්ලටම අතිශයින් බරපතල ලෙස අභියෝග කරමින් ලියන ලද මෙය තවමත් ‘ඉක්මනින් වලිග ගිණි ගන්නා පරම්පරාවේ’ දෑසට අසු නොවුණාද, නැතහොත් මේ වර්ගයේ පොතක් මුල සිට අග තෙක් කියවීමේ සංයමයක් මේ නරි නාටක මැද සොයාගැනීමට ඔවුනට හැකි නොවූයේදැයි මම නොදනිමි.
අසාමාන්‍ය පෞරුෂයකින් යුතු සහ අපගේ තාර්කීක ඥානයට ඔබ්බෙන් පවත්නා සත්ව කරුණාවක් දරා අප වෙතට ඇවිද එන දේවමිත්තා මෙහෙණියය. NGO ලේබලය පහසුවෙන් වැදිය හැකි සීමාවේ නිර්භයව ඇවිද යන ඇයය. ස්කයිප් ඇමතුම් ගන්නා, ඉංග්‍රීසියෙන් ලිපි ලියනා, කන්ද මුදුනේ ඇති කන්‍යාරාමයත් සමඟ ඇයිහොඳයිකම් පවත්නා, පන්සලේ මහණ කරවන ලද ඉතා කුඩා සාමනේරයන් වහන්සේ මැදියම් රැයෙ යටිගිරියෙන් අඬා වැළපෙනා විට භික්ෂුණී ශාසනය යනු බුදුදහමේ ඍණ ලකුණක් යැයි පවසනා ලොකු හාමුදුරුවන් වැඩ සිටිනා ආවාස ගෙයට බලෙන් දිව ගොස් පොඩි හාමුදුරුවන් වැළඳ ” මට අම්මා මතක් වුණා, මං හැමදාම රෑට නිදියන්නෙ අම්මගෙ උරහිසට ඔළුව තියං මෙහෙ මට සීතයි” යැයි පවසනා දරුවාව පපුවට තුරුලු කොට සනසා ඇවැතක් සිදු කර ඇති බවට චෝදනා ලබන දේවමිත්තාය. “බුදුහාමුදුරුවො බෞද්ධද?” කියා අසනා දේවමිත්තාය. එළාර මිය ගිය විට දුටුගැමුණු මහරජ කිරිබත් කෑවේ දැයි අසන දේවමිත්තාය.
මේ අසාමාන්‍ය පෞර්ෂයක් සහිත, මල් දෙස බලමින් භාවනාවේ යෙදෙන මෙහෙණින්වහන්සේ ඉදිරියේ තමන්ගේ අදහස් නොවළහා කියනා, පාපොච්චාරණයට එන ගණිකාවකගේ පාපොච්චාරණය අසා කම්පනයට පත්ව දේව ධර්මය ප්‍රශ්න කරනා, ඩාවින්සි කෝඩ් කියවනා, තමන් හට පෙනී යන සත්‍යය වෙනුවෙන් සටනේදී පූජකයෙකුට නිරාගමික විය නොහැකිදැයි තමන්ගෙන්ම විමසන ශර්ලි පියතුමාය. පෙර ඉතිහාසය නොසඟවා, දැන් හෝ වතිකානුව ඇතුළු සමස්ත ක්‍රිස්තියානියා සමාව ගත යුතු බව සිතන ෂර්ලිය. තමන්ට මුණ ගැසුණු මේ මෙහෙණින්වහන්සේ යනු ස්වර්ගය විසින් තෝරාගන්නා ලද තැනැත්තියක් බව සිතනා ෂර්ලිය. ඇය මුණගැසීම වාසනාවක් බව සිතනා ෂර්ලිය.
දුටුවන් මන් මත් කරවනා, කම්පනයට පත් කරවනා රූපයක් සහිත කන්‍යා සොයුරිය ඈන්මරීය. තම සිතිවිලි වචන කිරීමට බියෙන් සිටින, අතීත තුවාළ වලින් මිදෙන්නට අදහසක් නැතිමුත් දේවමිත්තා නම් අමුතු මෙහෙණියක් නිසාවෙන් අවුල් වී වියවුල්ව ගිය, වෛර කිරීමට අවැසි වුවද මේ සර්පයන් රැක බලා ගන්නා මෙහෙණිය නිසා එය කිරීමට නොහැකිව ලත වෙන, හමුදා නිළ ඇඳුමක් දුටු විගස දුව ගොස් සැඟවෙන ඈන්මරීය. වැඩිමහල් කන්‍යා සොයුරියට හොරෙන් ඩාවින්සි කෝඩ් කියවන, සිහිනයෙන් මුරණ්ඩු කොල්ලෙකුව සිහිනෙන් දකින, සිහිනයෙන් ඉකිබිඳින ඈන්මරීය.
මේ චරිත අතරින් මතු වෙන වෙරෝනිකාය. ජේසුතුමන් කුරුසිය කර දරා යන ගමනේ ලේ සහ දහඩිය වැකුණු මුහුණත පිස දමන්නට ඉදිරිපත් වූ මුරණ්ඩුකාර ගැහැණුන්ගේ පරම්පරාවේ ඊළඟ වෙරෝනිකාය. ‘මම අද පුලන්නෙකුට දානයක් දුන්නා. ඒක පිනක් නෙමෙයිද? ‘ යැයි අසමින් තමන් මුදල් අය නොකර සන්තර්පණය කෙරූ පාරිභෝගිකයකු පිළිබඳව පවසා පූජක පැවිදි උදවියව ඔල්මොරොන්දන් කරනා වෙරෝනිකාය.
විප්ලවය තුළ විප්ලවකරුවෙකුට සහ විප්ලවකාරියකට දාව උපන් ඔහුය. හේ වංගීසය. විප්ලවයෙන් පළි ගන්නා පිණිස හමුදා නිළ ඇඳුම ඇඟලූ ඔහුය. හදවත ඔහුත් නොදන්නා අමුතු යමකට භාජනය කරනා, තර්ක කරනා, විජාතික පිල්ලියක්දැයි සැක සිතෙනා නමුත් ඒ තරමටම ගෞරව කරන්නට සිතෙනා මෙහෙණියකගේ උපකාර සොයනා ඔහුය. කොහේදී හෝ දැක පුරුදු මුහුණක් සහ කාරුණික දෑසක් හිමි මෙහෙණියය. ඒ සඳක් වන් මුහුණක් තිබූ, මුළු යුධ හමුදාවේම කඩවසම් තරුණයා වූ තම ළබැඳි මිතුරාව අමතක කළ නොහැකි වූ ඔහුය. අනෙක් පසින් ඒ මිතුරාය. ඉන් එහායින් ඒ මිතුරාගේ මුහුණ මත තිබූ පැලැස්තරයය.
මේ සියල්ලටම එහායින්, සියල්ල විමසුමට ලක් කරමින් ඉන්නා විශේෂ පුද්ගලයෙකි. ඔහු ඔහුව බරසාර ලෙසට හඳුන්වා ගන්නේ Corvus Splendens Protegatus Madaras ලෙසටය. වසර ගණනාවක් මේ පුණ්‍ය භූමිය දෙස බලා හිඳ ලද අත්දැකීම් ඇසුරින් ඔහු තම විශ්ලේෂණය සිදු කරයි. නොනවත්වාම කතා කරයි. සිතයි. උපහාසයට ලක් කරයි. වේදනාවෙන් ඇඹරෙයි. කුහුලින් දැවෙයි. අහෝ ඒ බරසාර අමුත්තා.
මුරණ්ඩුකාර භානුය. ගලීල තරුණයා වැනි රූපයක් ඇති චාලකය. වෛද්‍ය පීඨයේ සුභාෂ්ය. ඒ මැද නර්මදාය. අසාමාන්‍ය හදවතක් ඇති නර්මදාය.
මෙලෙසට කැත්ලීන් ජයවර්ධන අභීත ලෙසත්, උපක්‍රමශීලී ලෙසත්, මේ භූමියේ අයියලාට අනුව රැඩිකල් ලෙසත් තම පෑන හසුරවා තිබේ. බුදු දහම මේ සා අපූරුවට මා තුළ පැහැදීමක් ඇති කෙරූ පොතක් මෑත කාලයේ මා කියවා නැත. කැතලින් තම මුද්‍රාව, ආගමික සාහිත්‍ය, දේශපාලනීක මජරභාවය සහ තවත් බොහෝ කාරණා එකට එක්කාසු කොට තනනා මේ සමාජ ක්‍රමයේ ඉතා ඉහළින් සලකුණු කොට ඇත. සියල්ලටම වඩා ඇය මෙහි ප්‍රකට කරනා හැදැරීමෙහි ඇති ගුණාත්මකභාවය අති විශිෂ්ටය.
මේ පොත පුරාවටම මහින්ද නාමල් නම් මිනිසාගේ පිය සටහන් හී සලකුණු මට දැනෙනත’ර මුණගැසෙන්නට වාසනාවක් ලද හොත් කැත්ලීන්ගෙන් ඒ පිළිබඳව අසන්නට මම බලාපොරොත්තු වෙමි.
වසර අරඹන ලද්දේ ඉවුරු ගඟ සිදී ගිය දා සමඟය. එය සාර්ථක ඇරඹුමකි. කැත්ලීන් ජයවර්ධන විසින් අතිශයින් දක්ෂ සහ නිර්භය ලෙසටද, ඉතා සංයමයෙන්ද ගෙත්තම් කොට ඇති මේ ගෙත්තම ආගමික සංස්ථා තුළ සිටිනා මා වැනි අයටද, ඉන් පිට ඉන්නා අයටද පැහැදිළිවම ස්වර්ගීය අත්දැකීමකි!
” Damn this book” වර්ගයේ අත්දැකීමකි!
සටහන ලියූ කෙනා / සබැඳිය : ෂෙනූ පෙරේරා
ඡායාරූප: ඇමිණුම් විදිහට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *