|

කහට ගවුමක අයිතිකාරිය-කෞශල්‍යා ජයලත්

පොතේ නම: කහට ගවුමක අයිතිකාරිය
ප්‍රවර්ගය : කාව්‍ය
කතෘ: කෞශල්‍යා ජයලත්
ප්‍රකාශනය : KSP ප්‍රකාශන
පළමු මුද්‍රණය: 2018

විචාරය: කපිල එම්. ගමගේ
සබැඳිය:https://m.facebook.com/story.php?story_fbid=pfbid0nNt6js2iqnCEpB8HAoEe5SoGRFRqJB7gNEw4tLFZPqvC1NZpB2YUq6tDBZwGDzBol&id=592424225

2019 මාර්තු 20 දා, බදාදා, I රැස I ඉති “කවි ඇසුර“ I පිටුව 10 (IV)

ඇය හැඩකාර කවි බසක අයිතිකාරිය යි
_____________________________________

කවිය පිළිබඳ අදහස් දක්වන ඉංග්‍රීසි කවියෙකු වන මැතිව් ආර්නෝල්ඩ් පවසන්නේ, ″එය ගිනි පුලිඟුවක් අහසින් කඩා වැටිම හා සමාන දෙයකි. කවිය යනු ඉතා මනරම්, විශ්මය ජනක මෙන්ම පුලුල් ලෙස දේවල් ප්‍රකාශ කළහැකි ආකාරයකි.″ යනුවෙනි. කවිය මනරම්, විශ්මය වහා  ප්‍රයෝගයක් වන්නේ භාෂාව පදනම් කරගෙනය. සිය භාෂාව කාව්‍යමය තලයක තබා කපාකොට ගත හැකි කවියෙකුට සිය කවිකම් මනාව විදහා දැක්විය හැකිය. එසේ කිරීමට නම් කවියා සිය භාෂාවේ එන විදග්ධ ව්‍යවාහාරය, ගැමි වහර, ළමා වහර, කට වහර, පොදු ජන ව්‍යවාහාරය, විදෙස් වහර, පැරණි ගද්‍ය පද්‍ය භාෂාව  පමණක් නොව එහි එන තාක්‍ෂණික යෙදුම් මෙන්ම උප භාෂා ආදියේ එන ලක්ෂණයන් ද අනිවාර්යෙන් දැන සිටිය යුතුය. එමෙන්ම කාව්‍ය භාෂාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් කිරීමට ද කවියා උත්සුක විය යුතුය.

කෞශල්‍යා ජයලත් කිවිඳිය ගේ ″කහට ගවුමක අයිතිකාරිය″ කාව්‍ය සංග්‍රහය තුල දැකිය හැක්කේ ඉහතින් සඳහන් කල විශේෂ කාරණයයි. එනම් ඇය සිය අත්දැකීම් කියන්නට කාව්‍ය භාෂාව යොදා ගන්නා ආකාරයයි. ඇගේ කවිකමේ ප්‍රබල විශේෂත්වය වන්නේ කවියට ප්‍රස්තූත වන අත්දැකීමට ගැලපෙන ලෙස සිය භාෂාව හැසිරවිමයි.

කිරිල්ලියක වගේ දඟ කර කර
ලන්ද ලඟ දං පඳුර ගාවා
බිම තබා කඩයප්ප වට්ටිය
බටිත්තී දං ගෙඩිය කෑවා
බාලොලිය මලක් කණ පලඳා
දම්පාට හිනාවක් පෑවා
හිස තබා කඩයප්ප වට්ටිය
රතු හැට්ටකාරී දිව්වා
(රතු හැට්ටකාරී – පිටුව 12)

කුඩා දිළිඳු දැරියක මුහුණ පාන ඛේදවාචකයක් පදනම් කර ගත් මේ කවිය සඳහා ඇය උපයෝගි කරගන්නේ ළමා කවියක එන භාෂාවයි. රිද්මයයි.

මං තාම ආදරේ  ඒ කළු කෙට්ටු කොළුවට
මං ගාව ආදරේ නෑ සුදු මහත නළුවට
දැං සුපිරි මන්දිරේ දැසි දසුන් අතරේ නැතුවට
ඉස්සර අපට තිබුණා ආදරේ මිණි මුතු කැට
(මං තාම ආදරේ  ඒ කළු කෙට්ටු කොළුවට – පිටුව 15)

මෙතැන දී ඇය පොදු වහරට සිය භාෂාව මාරු කරයි. ඒ මේ අත්දැකීමට වඩාත් ගැලපෙන භාෂා ව්‍යවහාරය එය වන බැවිනි. මේ ආකාරයට කෞශල්‍යා විවිධ අත්දැකිම් කියන්නට වෙනස් ආකාරයේ බස් වහර භාවිතා කරන ආකාරය කෘතිය පුරාම දැකිය හැකිය. තවත් තැනෙක ඇය සන්ධ්‍යාව වර්ණනය කරන්නේ මෙසේය.

අහවරව දවසේ මෙහෙවර
දිව යනු පිණිස ගම්දොර
එල්ලෙයි විඩාබර ඉර
සයුරු රිය දොර කෙළවර
(හැන්ඳෑ කළුවර – පිටුව 18)

මේ කියන්නේ සන්ධ්‍යාවේ ඉරබැස යැම වුවද අන්‍යාර්ථයකින් කියැවෙන්නේ රැකියාව නිමකොට බස්රථයේ ගමට යන තාත්තා ගැන ද විය හැකිය. එහිදී ව්‍යාංගාර්ථ පූර්ණ බසක් භාවිතා කරයි. එය අත්දැකිම වඩාත් ප්‍රබලව කියන්නට මනාව ගැලපේ. ″සැමරුම් මරණ එ’මිතුර″, ″ළූණු සැර″, ″දරුගල්″,″එක් චිත්‍ර කතාවක්″ වැනි නිර්මාණ තුල ද ඇගේ භාෂා භාවිතයේ සුරු විරුකම් කැපී පෙනේ.

″ණය ″ නමින් වන නිර්මාණය ද මැද පන්තික ජීවිතයේ භෞතික සම්පත් සොයා යෑමේ අනවරත අරගලයේ හිස් බව කියා පාන්නකි. නවීන පන්නයේ උපභෝග පරිභෝග වස්තූන් රැස් කරනු විනා සිය ජීවිත කාලය තුල ජීවිතය විඳීමට ඉඩහසරක් ලබා ගැනිමට මැද පන්තතිකයාට ඉඩක් නොලැබේ. අනතුරුව රටට ණය වී සියළු සම්පත් ලැබූවද ඔවුන්ගේ අභ්‍යන්තරය හඬා වැටේ.

උඩුමහලෙ නිදන කාමර
උඩුවියන් සහිත චාමර
සයනය පොඩි නොවූ ඇතිරිලි
විමසයි නිදිසුව අරුචි දැයි
(ණය – පිටුව 57)

″ළූණු සැර″ (පිටුව – 22) නම් වු දිගු කවිය කාන්තාව සිය ගෘහ ජීවිතය තුල මුහුණ පාන ගෘහ සේවිකා වෘත්තිය පිළිබඳ සුපුරුදු ඛේදවාචකය නැවුම් මුහුණුවරකින් කීමට ගත් අපූරු උත්සාහයකි. මෙහි දි කිවිඳිය මුළු කවිය පුරාම ළූණු සැර සංකේතාර්ථයෙන් භාවිතා කරන ආකාරය නැවුම් ය. කවිය ඇය අරඹන්නේ මෙලෙසිනි.

ඇයි අම්මේ අඬන්නේ
නෑ පුතේ
මේ ළූණු සැරට
මම ළූණු කපමි.

අනතුරුව ඇය විස්තර කරන්නේ දවසේ වරු හතර පුරා ඇගේ ජීවිතය විහිදී යන ඒකාකාරී ස්වරූපයයි. ස්වාමියාගේ, දරුවන් ගේ නිවසේ සියලු කටයුතු නිමකර වුවද ඇයට සිය ජීවිතයේ බෙදා ගන්නට ඇති ආදරය බෙදා ගනු නොහැකිව ලත වේ. ඇය එය හඳුන්වන්නේ මැණිකක් ලෙසිනි. සියළු වැඩ නිමාකර සිය සැමියා සමග ජීවිතය, ආදරය බෙදා ගන්නට සූදානම් වන විට ස්වාමියා නින්දට වැටී අහවරය. කිවිඳිය කවිය අවසන් කරණ අයුරු මනරම්ය.

මැණික හද ගැබ සඟවමී
ඔහුට මිස වෙන කෙනෙකුට නම්
කාන්තිය නො පෙන්වමි
නිරාමිස හැඟුමක රාත්‍රිය දිය කර
තවත් උදයක් උදා වන තුරු
මම ළූණු කපමී
ළූණු කපමි
ළූණු කපමී

මේ කවියේ නිමාව තියුණු වේදනාවක්, තිගැස්මක් රසිකයා තුල ඉතිරි කරවයි. කවිය නියම තැන නිමා කිරීම යනු එයයි.

නමුත් මෙහි එන ඇතැම් නිර්මාණ වල මේ ගුණය ඈ අතින් ගිලිහී ඇත්තේ ඇයි දැයි නොදනිමි. මතු දින තව තවත් නවමු අත්දැකීම් සොයා යන්නේ නම් ඈ අතින් බිහිවන නිර්මාණ සුවිශේෂ රසයක් රසිකයාගේ ජීවිතාවබෝධය වෙනුවෙන් ඉතිරි කෙරෙනු ඇත.

කෙසේ වෙතත් කෞශල්‍යා ජයලත් ගේ ″කහට ගවුමක අයිතිකාරිය″ කාව්‍ය එකතුව, අපූරු කවි බසක අයිතිකාරියක් සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට පැමිණ ඇති බව තද කළු අකුරින් මුද්‍රණය කර සිටී.

© කපිල එම්. ගමගේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *